Saturday, February 21, 2015

ආදරය Quotes වලින් - 8

ආදරය Quotes වලින් - 8ලොකු ලොකු මිනිස්සුන්ගේ ලොකු ලොකු කියමන් හොයන් යන ගමනේ අදත් සෙට් වෙමු Love Quotes..
A guy can love MILLION hearts,
But a real guy loves ONE heart,
In MILLION ways…
                        -Sewwandi-
“පිරිමියෙකුට හදවත් මිලියනයකට ආදරය කල හැකි වුවත් සැබෑ පිරිමියාට කල හැකි වන්නේ එක හදවතකට ආකාර මිලියනයකින් ආදරය කිරීම පමණි”ඔන්න තේරුම... මේකත් නිකං අර කමිස අතර ෂර්ට් එක වගේ වැඩක්. මේ ලෝකේ එක මිනිහෙකුට ආදරය කරන්න පුළුවන් එක ගැහැණියකට විතරයි කියලා කියලා කවුරුවත් කියලා නෑ නේ? තමන්ට ඕනේ තරම් ආදරය කරන්න පුළුවන්. ඒ මම කිව්වේ පිරිමි ගැන. ඔය පිරිමි ගොඩ අතරේ සැබෑ පිරිමියා වෙන්නේ එක ගැහැණියකට තමන්ට පුළුවන් හැම විදියටම අවංකවම ආදරය කරන කෙනා විතරයි. අපි කවුරුත් කැමතියි අපි අපේ කොල්ලගේ හරි කෙල්ලගේ one and only ප්‍රේමය වෙන්න. අන්න ඒ දේ තේරුම් අරගෙන හදවත් මිලියන ගණනක් අතරේ තමන් ආදරේ කරන එකම එක හදවතක් තෝරාගෙන බොක්කෙන්ම ආදරය කරන කෙනා තමයි අන්තිමට දිනුම්.. ඔය දකින දකින මල් පස්සේ යන බඹර කොල්ලෝ (කෙල්ලන්ගේ වචන වලින් කිව්වොත් කුකුල් කොල්ලෝ!) ඒ වෙලාවට සෙට් වෙන කාට උනත් බොරුවට ආදරේ කරන්න යනවා... අන්තිමට මොකද වෙන්නේ? වැඩේ මාට්ටු උනාට පස්සේ එකෙක්වත් නෑ.. අඩුම තරමේ වටේට හිටපු යාලුවොත් නෑ... පුළුවන් උපරිමේටම පීචං වෙලා පැත්තක ඉන්දෙද්දී, අර හදවත් මිලියනය අතරේ එක හදවතකට විතරක් අවංකව ආදරය කරපු කෙනා ෆුල් ෆන් එකේ ඉන්නවා.... ඔන්න වෙනස...තමන් අවංක වෙන්න... එහෙම උනොත් ඔයා කවදාවත් ආදරය පරදින එකක් නම් නෑ...

Some Love from eyes,
Some love from face,
But true People,
Love from their
HEARTS…
                        -Nayanaka-
“සමහරුන් ඇස් වලින් ආදරය කරයි... තවත් සමහරුන් මුහුණෙන් ආදරය කරයි... නමුත් සැබෑ මිනිසා හදවතින් ආදරය කරයි..”  ඔන්න තේරුම.. ඔය කතාවත් කලින් එක වගේම තමයි... ඔයාලට මේ වගේ ඇත්තෝ ඕනේ තරම් හම්බුවෙලා ඇති.... කන්න වගේ මූණ දිහාම බලාගෙන ඉන්න උන්, පර්ස් එකට විදින උන්... එතකොට එක ඇහැක්වහලා බලන ඇස් ලෙඩ හැදිච්ච උන්.. ඔය වගේ...  විශේෂයෙන් කෙල්ලන්ට එහෙම මේ අත්දැකීම හොඳට ඇති... මුල්ම දවස් වල මේ වගේ උන් පෙන්නන්න බැරි උනාට පස්සේ පස්සේ තමයි හිත නැමෙන්නේ... ඔහොම ගිහින් දෙන්න සෙට් උනයි කියමුකෝ.... ඔය ආදරය දවස් කීයද? වැඩිම උනොත් මාසයයි... අන්න ඒ නිසා ආදරය කරන්න පටන් ගන්නකොට තමන් දැන ගන්න ඕනේ ටිකක් විමසිලිමත් වෙන්න... ඔය ඇස් වලින් මූණෙන් බොරු සෙල්ලන් දැම්මට එව්වා නිකන් සෝඩා බෝතල් වගේ... මූඩිය කඩනකන් විතරයි.. ඔය එක එක විකාර අස්සේ ඇත්තටම හදවතට ආදරය කරන අයත් ඉන්න පුළුවන්... අන්න ඒ වගේ අය තමයි ඇත්තම මිනිස්සු... පිටින් බැලුවම නම් මේ දෙගොල්ලෝ කවදාවත් අඳුන ගන්න බෑ... ඔක්කොම සමානයි.. එත් හදවතින් වෙනස්. අපි සැබෑ මිනිස්සු අඳුන ගත්තොත් විතරයි ආදරය ජය ගන්න පුළුවන්. අන්න එකට වෙන්න ඕනේ ඇස්, මූණ වගේ මිනිස්සුන්ගේ එලියට පේන දේවල් නොබලා ඇතුලත, හදවත දකින්න පුරුදු වෙන එකයි....ඒ මොකද හදවත ආදරය කරද්දී කවදාවත් බොරු කරන්නේ නෑ! ආදරය කරද්දී ඔයාලාට වෙන ලස්සන සිදුවීම්, අත්දැකීම්, වැරදීම්, මනස්ගාත... හැමෝම එක්ක බෙදා ගන්න කැමති නම්, පොඩි Quoteඑකක් හදලා මට එවන්න... මම නිමා...Nima.quotes@gmail.com 

ආදරය quotes වලින් - 7

ආදරය quotes වලින් - 7
 
ලොකු ලොකු මිනිස්සුන්ගේ ලොකු ලොකු කියමන් අතරේ පිස්සු හැදෙන ආදරය හොයන සුන්දර චාරිකාව ..
Love Quotes....
ඔන්න එහෙනම් මේ සෙනසුරාදා වැලෙන්ටයින් නේද? තමන්ගේ කොල්ලා හරි කෙල්ල හරි එක්ක ෆන් එකේ වැලෙන්ටයින් සමරන සහ එදාටත් ඔහේ කාලා බීලා නෝමල් එකේ ඉන්න තනිකඩ Young Generation එකට  එක සේම සුබ පතන ගමන් අපි බලමු අද Quotesමොනවද කියලා...

"I fell for you
Unexpectedly
But now I plan to
Be with YOU
FOREVER"

ඔබ කෙරෙහි නොසිතු මොහොතක හිත ඇදී ගියත් දැන් ඔබ හා සැමදා සිටීමට මම සැලසුම් කරමි”
 ඔන්න තේරුම...
ඔයාලටත් මේ අත්දැකීම ඇති.... ඔය එකට වැඩ කරන යාළුවො එහෙම යාළුකම පැත්තක දාල ආදරේ කරන්නේ, ඇයි ඔය ගෙවල් ළඟ කෙනෙක් නැත්තම් ක්ලාස් එකෙක කෙනෙක් වගේ හිතට වදින කෙනෙක්  හිටියොත් ඔයාලගේ හිත එයා දිහාවට නිකම්ම ඇදිල යනවා නේ? හැබැයි ඒ යාලු වෙන්න කලින්... යාලු උනාට පස්සේ ඉතින් කවුරුත් ආස කරන්නේ එයා ඔයත් එක්ක හැමදාමත් ඉන්නවනම් නේ? අන්න එකට ඉතින් දෙපාර්ශවයම නොකරන දෙයක් නෑ... පිටට නොපෙන්නුවට කවුරු කවුරුත් කරන්නේ ඔය වැඩේ තමයි... හැබැයි ඉතින් ඔය ලස්සන සිතුවිලි හැමදාමත් තියෙන්නේ ඕනේ... නැත්තම් ඒ ආදරෙන් වැඩක් නෑ... ඔහොම පණ උනත් දෙන්නම් කියලා යාලු වෙන සම-හරක් සතියක් දෙකක් යද්දී වැඩේ අල කරගෙන, වෙන් වෙලා, හිත බිඳිලා, අඬ අඬ ඉන්නවා.. හැමදාමත් ආදරෙන් ඉන්න සැලසුම් කරනවානම් ඔය වගේ දේවල් වෙන්න බෑ.... එකිනෙකා තේරුම් අරගෙන තමයි අනාගතය සැලසුම් කරන්න ඕනේ... නැත්තම් ඉතින් “අය්යෝ සල්ලි” තමයි...
 
Missing
Someone is your
Hearts way of
Reminding
You that you
LOVE them…

“වෙන් වීමෙන් ඇතිවන පාළුව ඔබට, ඔබ ඒ කෙනා හට ආදරය කරන බව පැවසීමට ඔබේ හදවත යොදන ක්‍රමයයි”
ඔන්න තේරුම...
කවුරු හරි ළඟ නැති උනාම දැනෙන පාළුව ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ? එක ඔය හැමෝටම ජීවිතේ කවදා හරි දවසක දැනිලා ඇති... හිතන්න ඔයා කැමති කවුරු හරි කෙනෙක්  දුර පළාතකට ටික දවසකට යනවා..... ගියපු වෙලේ ඉඳලා ඔයා බලන් ඉන්නේ ආපහු එන දවස කවදද කියලා නේද? සමහර ය නම් කැලැන්ඩරේ දවස් ගානට කතිර ගහ ගහ බලන් ඉන්නවා.... ඒ ඇයි කියලා කවුරු හරි හිතුවද? ඒකට ඔයාලා  මොන වගේ උත්තර දුන්නත් හොඳම සර්ව සාධාරණ උත්තරේ තමයි “ඒ ඔයා එයාට ආදරේ හින්දා”.... එහෙම ආදරේ කරන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් හරි බෝයිෆ්‍රෙන්ඩ් හරි වෙන්න ඕනේ කියලා නීතියක් නෑ.... ඔයාගේ සහෝදරයෙක් එහෙම නැත්තම් පවුලේ කෙනෙක් වගේ උනත් ඔයාලා බලන් ඉදීවි....  ඒ බලන් ඉන්නේ ඔයා එයාට ආදරේ නිසා.... මොකද  හැමෝම තමන්ගේ පවුලේ කට්ටියට ආදරෙයි....  ඔයාගේ හදවත ඇතුලේ ඔයා ආදරේ කරන්න හැමෝම ඔයාගේ මරණය දක්වාම ජීවත් වෙනවා.... ඔයාට ඔයා ආදරය කරන කවුරු හරි මතක් කරන්න හදවත් ඇතුලේ තියෙන ටෙක්නික් එක තමයි එයා නැති පාළුව දැනෙන්න අරින එක....  පාළුව කියන්නේ නරක දෙයක් නෙවේ.... ඒ මොකද පාළුව දැනෙන හැම පාරකටම ඔයා දැනගන්න ඕනේ ඔයා ඒ කෙනාට ආදරේ කරන බව...
ඕන් එහෙනම් වැලෙන්ටයින් වෙනුවෙන් Young Generation එකට මගේ ගානේ දෙන Quote එක......
 
LOVE
With all your
HEART
And
Accept it
With all your
HEART
                -Nima-
“ආදරය කරන්න, මුළු හදවතින්.... ආදරය පිළිගන්න,  මුළු හදවතින්....”
ඔන්න තේරුම.... ආදරය කරනකොට බොරු කරන්න එපා.. ඔයාට අවංකවම එයාට ආදරේ කරන්න බැරි නම් බොරුවට ආදරේ කරන්න එපා... මොකද ඔයා කගේ හරි හිතක්, හදවතක් බිඳලා දැම්මොත් ඒ වැරැද්ද ආයේ කවදාවත් හරිගස්සන්න බෑ... ඔය සමහර උදවිය ඉන්නවා කවුරු හරි කෙල්ලෙක් හරි කොල්ලෙක් එක්ක හරි යාලුවෙන්නේ මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න විතරයි... අර මම ගිය සතියේ කිව්වා වගේ සමහර උන්ට තියෙන්නේ දත ගැලවීමේ පරමාර්ථය... විශේෂයෙන් කෙල්ලන්ට... ඒ වගේම කොල්ලොත් ඉන්නවා කෙල්ලෙක් එක්ක යාලු වෙන්නේ අර අහවල් ප්‍රයෝජනේ ගන්න විතරයි.... ඔය දෙගොල්ලෝ ගාවම ආදරයක් නම් ගෑවිලාවත් නෑ...  ඒ වගේම ඔයාට කවුරු හරි ආදරේ කරනවා නම් එයාගේ ආදරේත් නිකන් අවට ගියාට පිළිගන්න එපා... පොඩ්ඩක් බලලා ඔයත් කැමති කෙනෙක් තොර ගන්න... හැබැයි තෝර ගන්න කෙනාට උපරිමයෙන් ම ආදරේ කරන්න බලාගෙන.. ඒ වගේම එයාගේ ආදරෙත් පිළිගන්න ඕනේ.... ඔයා එයාට කරන ආදරේ වගේම තමයි එයා ඔයාට කරන ආදරේ...  එක නිසා ඒ ආදරෙත් බොක්කෙන් ම පිළිගන්න ඕනේ... ඔයාල මෙච්චර කල් මේ විදියට කරලා නැත්තම් ඔන්න හොඳම චාන්ස් එක... 14 වෙනිදා නමෝ විත්තියෙන් පටන් ගෙන බලන්නකෝ.... ප්‍රතිපල හොඳද කියලා... හොඳ නම් ඉතින් මටත් කියන්න බැරියැ...
 
දිගටම ඔයාලගේ ඔලුවට එන ආදර මනස්ගාත මට එවන්න...
 
මම නිමා
 
 
                                   
 
 
 

Saturday, February 7, 2015

ආදරය quotes වලින් - 6



ලොකු ලොකු මිනිස්සුන්ගේ ලොකු ලොකු කියමන් අතරේ පිස්සු හැදෙන ආදරය හොයන් යන්න සෙට් වෙමු..
Love Quotes....

කලින් කිව්ව විදියට ඔන්න අද ගෙනාවා ඔයාලා මට එවපු Quotes ටිකක්...

Once...
We talk of 
Friendship...
Then..
Love....
The Limits
Where
We cannot find....
                      -Anuradha-
"පළමුව අප යහලුවන් සේ කතා කලද, ආදරය හමු වූ තැන සීමා කොහිද? "
ඔන්න තේරුම.... මේ තියෙන්නේ අපි කාටත් වෙන දෙයක්. කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි තව කෙනෙක් එක්ක යාලු වෙන්නෙ කොහොමද? ඉස්සෙල්ල නිකන් බබාල වගෙ විනීතව සාන්ත දාන්තව ඉස්කෝලෙ මොකක්ද? ගෙවල් කොහෙද කියලා අහලා නිකම්ම නිකං යාලුවෙක් කර ගන්නවා නේද? ඊට පස්සෙ නෙ ටිකක් යාලුකම පෝර දාලා වෙඩි වගේ එනකොට තමන්ගේ හැඟීම් ඇවිස්සෙන්නෙ! ඔහොම ඔහොම දෙන්න හොඳට කතා කරලා එකිනෙකා අඳුන ගත්තට පස්සෙ තමයි ඉතින් ආදර පිස්සුව ගහන්නේ.. ඊට පස්සෙ දෙන්නගෙන් කවුරු හරි ඉස්සරවෙලා ආදරය අනිත් කෙනාට ප්‍රකාශ කරාට පස්සෙ ඔන්න ඒ මගුලත් හරි..  ඔය වැඩේම මෙහෙමත් වෙන්න පුලුවන්... නිකන්ම නිකන් යාලුවො දෙන්නෙක් ටිකක් කල් හොඳට දැන අඳුනගෙන ඉන්නකොට සමහර වෙලාවට දෙන්න යාලු වෙන්නත් පුලුවන්... දෙන්න සෙට් වෙලා බොක්කෙන්ම ලව් කරනකොට අර බබා පාට් කොහෙද ගියෙ? ඉස්සර නම් "ඔයා" , "නංගි" වගේ කතා කරපු ඩීසන් පාට් ටික රොකට් එකක දාලා අඟහරු වලටම යවලා... දැන් මොනවද? "බබා" , "පැටියා", "සුදූ" වගේ මී පැණි බේරෙන වචන ගොඩායි... අන්න දැක්කද යාලුවෙක් වගෙ කතා කරපු කාලේ තිබුනු සීමා මායිම් දැන් කොහෙද කියලාවත් හොයාගන්න බැරි වෙන ගානට ගියපු හැටි...  හැබැයි යාලුවො වෙලා ඉන්දෙද්දී කරපු සමහර වැඩ වලට නම් යාලු උනාට පස්සේ තිත තියන්න වෙනවා.... උඹ බං බොලන් කියලා ඉස්සර කතා කරාට එව්ව දැන් බෑ.. ඒ වගේම මෙච්චර කල් හිටපු විරුද්ධ පාර්ශවයේ ෆ්‍රෙන්ඩ්ස්ලාටත් ටිකක් හරි වාරණ දාන්න වෙනවා.... එහෙමයි කියලා ඇඳිරි නීතිය දාන්න ගියොත් නම් වැඩේ සෙත්තපෝච්චි... ඔන්න ඔහොමයි නියම ආදරයක් හිතේ කැරකෙනකොට යාලුකම අස්සෙ තිබුනු සීමා මායිම් අහස උසට නගින්නේ.... මොනවා උනත් ආදරයට නම් සීමා නෑ..

The perfect guy is not the one 
Who has most money or most handsome
He is the one who could always 
Make you smile and care always 
                     - Nuwangi-
"සැබෑ පිරිමියා යනු ආර්ථිකයෙන් හෝ කඩවසම් බවින් පිරිපුන් මිනිසා නොව, ඔබව හැමවිටම සතුටු කල හැකි සහ ඔබ ගැන සිතන මිනිසාය"  ඔන්න ඕකයි තේරුම.... අපේ කොල්ලන්ට වඩා මේක ඔනෙ වෙන්නෙ කෙල්ලන්ට.... සමහර කෙල්ලො හිතන්නෙ සල්ලි තමයි ජීවිතේ කියලා.... ඔය ටිකක් දෙකයි දෙකේ දඩාර් කොල්ලෙක් නිකන් ජෙට් එකක් වගේ පතරංග බයික් එකක නැගලා ටිකක් සද්දේ දාගෙන ආවම කෙල්ලො එකා දිහා බලන්නේ නිකන් මේ ලෝකෙ වෙන පිරිමි නෑ වගේ... එහෙම නැත්තම් Audi හරි BMW එකකින් හරි කොල්ලෙක් බහිනවා දැක්කොත් ඉතින් ඒකා සෙට් කර ගන්න නොකරන දෙයක් නෑ..... ඉන්න ඕක නම් ආදරයක් නෙවේ... ඒ මොකද එතන තියෙන යාලුවීමේ පරමාර්ථය දත ගැලවීම විතරයි..... හදවතේ කිසිම බැඳීමක් නෑ... හැබයි මෙ විදියට පීචං වෙන්නෙ සමහර කෙල්ලො විතරයි... මේ වගේ නොවන කෙල්ලොත් ඔනෙ තරම් ඉන්නව හොඳද? මට නම් ඔයාලාට ඉතින් කියන්න තියෙන්නෙ මේ වගේ මෝඩ වැඩ කරන්න එපා කියලා... මොකද ආදරය කියන්නේ ලස්සන දෙයක්.... ඒක විඳින්න ඕනේ හරියටම ගැලපෙන කෙනත් එක්ක.... අපේ කෙල්ලන්ගේ පස්සෙන් එන කොල්ලො ඉතින් ගොඩාක් ඇති නේ? ඔය අතරින් ඔයාට ටිකක් හරි විශේෂ කෙනෙක් ඇති... ඒ වගේම ඒ විශේෂ කෙනාට ඔයාව සතුටින් තියන්න පුලුවන් නම්, ඔයාගේ මූනේ හිනාවක් හැමතිස්සෙම තියන්න පුලුවන් නම්, ඒ වගේම ඔයා ගැන හොයල බලලා ආරක්ෂා කරනවානම් ආයේ දෙකක් නෑ එයා තමයි ඔයාට ගැලපෙන නියම පිරිමියා..... ෆේස් කට් එකයි සල්ලියි නෙවෙයි හදවත දිහා බලන්න....

Mistakes are
Sometimes the 
BEST
Memories 
               -Sewwandi-
"ඇතැම් වෙලාවට සොඳුරුතම මතකයන් වන්නේ සිදුවූ අත්වැරදීම් ය." ඕං තේරුම... අත්වැරදීම් අපි කවුරුත් අතින් වෙනවා... ආදරය කරද්දී වෙන පොඩි පොඩි අත්වැරදීම් වෙලාවකට ජරමර වෙනවා වගේම සමහර වෙලාවකට ලස්සන අත්දැකීම් වෙනවා... යාලුවෙලා ආදරය කරන දෙන්නෙක් රණ්ඩු වෙනවා, තරහා වෙලා ඉන්නවා ඔය වගේ පොඩි සීන් තමයි කවදාහරි ඒ ලස්සන කාලේ මතක් වෙන හොඳම සිද්ධි.... අපි කවුරුවත් එක පාරටම First love එක ගොඩ දාගන්නෙ නෑ නේ... එහෙම කරගන්න උන් එහෙමත් ඉන්නව... හැබයි ගොඩාක් අය දෙවනි හරි තුන්වෙනි හරි ඊටත් වඩා හරි එකක් තමයි දිනා ගන්නේ... ඉතින් ඔයාලා කවදා හරි Marry කරලා වයසට ගියාම, තරුණ කාලේ කරපු දේවල් මතක් වෙනවා නේ? අන්න ඒ වගේ වෙලාවට තමයි ඔයාලට ඒ කාලේ කරපු පිස්සු වැඩ මතක් වෙන්නෙ.... ඒ වෙනකොට අවුරුදු බර ගානකට ඉස්සෙල්ල ඔයා පස්සෙන් ගිය කට්ටිය එහෙමත් ඔයාල ගෙ ෆ්‍රෙන්ඩ්ස් ලා වෙලා ඉදීවි...  ඔය වගේ දෙන්නෙක් පාටියකදී වගේ සෙට් උනාම මොනවද ඇදලා ගන්නෙ? අර තරුණ කාලේ කරපු ආදරයම තමයි... එතකොට එව්ව ලස්සන මතක විතරයි.. කාපු බීපුව, බැන ගත්තුවා... ඔව්ව ඒ කාලේ හෙන බරපතල කේස් උනාට පස්සෙ කාලෙකදී එව්ව තමයි ලස්සන සිහිවටන වෙන්නේ... මම ප්‍රශ්නයක් අහන්නම්.... ඔයාට හොඳට මතක කෙල්ල හරි කොල්ල හරි එක්ක කාපු බීපු ජාතිද නැත්තම් දා ගත්තු වලි සීන් ද? උත්තරේ ඉතින් වලි සීන්වෙන්න ඕනේ... ඒ මොනවද? එව්ව තමයි අත්වැරදීම්... අන්න එහෙමයි සමහර අත්වැරදීම් පස්සෙ කාලෙක මතක පොතේ ලස්සනම දේවල් වෙන්නේ....

මම නිමා
Nima.quotes@gmail.com
                       

ආදරය quotes වලින් - 5


ලොකු ලොකු මිනිස්සුන්ගේ ලොකු ලොකු කියමන් ගැන හොයා බලන අපේ පිටුව, 
Love Quotes....

Ignoring
Is 
a kind of
Caring
                 -Nima-
නොසලකා හැරීම එක්තරා ආකාරයක ලෙන්ගතුකමකි....... ඔන්න තේරුම.... ගොඩක් වෙලාවට මේ අත්දැකීම තියෙන්නෙ කොල්ලන්ට..... තමන් කැමති කෙල්ල දිහා (කන්න වගේ) ඇසිපිය නොහෙලා බලන් ඉන්නකොට වෙලාවකට දුකත් හිතෙනවා නේද ඇයි එයා ඔයාව ගානකටවත් ගත්තේ නැත්තෙ කියලා?? කවුද දන්නේ එයා ඔයා දිහා බලනවත් ඇති, ඔයා ගැන හිතනවත් ඇති ඒ උනාට කෙල්ලො දන්නව ඒක අහු නොවෙන්න කර ගන්න...... මොකද ඉතින් 64ක් ම තියෙනවා නේ! ඉතින් මේ වගේ වෙලාවට කොල්ල දැනගන්න ඕනේ ටිකක් ඉවසගෙන ෂේප් එකේ තමන්ගේ වැඩේ කර ගන්න.... ඉවසීම නැති උනොත් ඉතින් වැඩෙ හබක්..... කෙල්ලොත් ආසයි නේ ටිකක් ගනන් උස්සන්න.... ඒ වෙලාවට තමයි බොරු උජාරුව.... හැබයි කෙල්ලෙක් උනත් කොච්චර ගනන් ඉස්සුවත් ආදරය හිතට දැනුනම ඉතින් 64 ම  කැලේ..... අන්න ඒ නිසා කෙල්ලන් සහ කොල්ලන් ඔක්කොමලා දැන ගන්න නොසලකා හැරීමත් එක්තරා විදියක ලෙන්ගතුකමක් කියලා..... හැබැයි එහෙමයි කියලා කෙල්ල හරි කොල්ල හරි ඔයාට කෙලින්ම කැමති නෑ කිව්වොත් ඉතින් වෙන අතක් බලාගන්න වෙනවා.... ඒ වෙලාවට නොසලකා හැරීම ලෙන්ගතු කමක් නෙවේ.........

Eyes 
Can speak
Louder
Than words
             -Nima-
වචන වලට වඩා ඇස් වලින් බොහෝ දේ ප්‍රකාශ කළ හැකිය... ඔන්න තේරුම....ඇත්තටම ඇස් වලින් කතා කරන්න පුලුවන් ද? අපි මෙහෙම බලමු.. ඔයා කැමති කෙනෙක් දිහා බලන් ඉන්නකොට හදිස්සියෙවත් එයා එක පාරටම හැරිලා බැලුවොත් ඔයාල දෙන්න ඉස්සෙල්ල බලන්නෙ ඇස් දෙක දිහා නේද? බලනවා නෙවෙයි බැලෙනවා...  පෙම්වතුන් දෙන්නෙක් කතා නොකරත් ඇස් දෙක දිහා බලන් ඉන්නකොට කතා කරාට වඩා වැඩිපුර ආදරයක් එතන තියෙනවා..... ඒ මොකද ඇස් වලට කවදාවත් බොරු කරන්න බෑ... ඔයා මොන බොරුව කිව්වත් ඔයාගේ ඇස් දිහා කෙලින් බැලුවහම ඔයා කියන්නෙ ඇත්තද බොරුද කියලා හරියටම තේරුම් ගන්න පුලුවන්....  පෙම්වතුන් රණ්ඩු වෙන එක ඉතින් සාමාන්ය දෙයක් නේ! දැන් හිතන්න ඔයාගෙ මොකක් හරි ලොකු කේස් එකකට පෙම්වතා හරි පෙම්වතිය හරි පලු යන්න බනිනවා... ඒ වෙලාවට තියෙන හොඳම දේ තමයි, කෙලින්ම ඇස් දෙක දිහා බලන් එයා කියන සේරම දේවල් අහන් ඉඳලා අන්තිමට සේරම දේවල් කියලා සමාව ඉල්ලන එක..... සමහර වෙලාවට ඔහොම කිව්වට ෂේප් නොවෙන්නත් පුලුවන් ඒ උනාට රණ්ඩුව ගොඩක් දුරට ෂේප් කර ගන්න පුලුවන්...... ඒ මොකද ඇස් වලට පුලුවන් කෙලින්ම හදවතට කතා කරන්න....

I love my LIFE
Because it gave me YOU...
I love YOU because
You are my LIFE
                   -Internet-
"මම මගේ ජීවිතේට ආදරෙයි ඒ මට ඔයාව දුන්නෙ ජීවිතය නිසා.... මම ජීවිතයට ආදරෙයි ඒ ඔයා මගේ ජීවිතය නිසා" ඕකයි තේරුම...... මම හැමදාම කියනවා වගේ ආදරෙයි ජීවිතෙයි අතර මාරම බැඳීමක් තියෙන්නෙ.... ඔන්න බලන්න ඔයා ජීවත් වෙලා හිටපු නිසා තමයි ඔයාට හොඳ ආදරයක් හමු උනේ.... මේ වෙලාවට මට මතක් වෙන්නේ බූට් එකක් නිසා සිය දිවි නසා ගන්න මෝඩයෝ ටික...... සාමාන්යයෙන් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි බූට් එකක් දෙකක් කන එක එච්චර දෙයක් නෙවේ.... එ මොකද කාටවත් එක පාරට තමන්ට ගැලපෙන බොක්කටම ෆිට් වෙන ආදරයක් හොයාගන්න බැරි නිසා..... කතාව ඔහොම උනත් තමන්ගෙ ලව් එක First Shy ගොඩ දා ගන්න කට්ටියත් නැතුවාම නෙවෙයි.... ඔය සිය දිවි නසා ගන්න කට්ටිය නිකන්වත් කල්පනා කරලා නැද්ද මුහුදේ ඉන්නෙ එක මාලුවෙක් නෙවේ කියලා..... පොඩ්ඩක් තමන්ගේ ජීවිතේ ගැන හිතලා වෙන අතක් බලා ගත්තානම් සමහර විට ඔයා කලින් එක්කෙනා එක්ක හිටියට වඩා හොඳින් ඉන්නවා වෙන්න පුලුවන්...... මට මෙහෙම කියනකොට මතක් වෙන්නෙ මගේ යාලුවෙක්.... මිනිහා ඔය "මුහුදේ ඉන්නෙ එක මාලුවද" ඇහුවම මගෙන් ඇහුවා "මචං මුහුදේ මාලු ඉවර උනොත්?"  මෙහෙමයි ඔයාට ලැබෙන්න තියෙන දෙයක් කවදාවත් නවත්තන්න බෑ.... ඔයා දැනගන්න ඕනෙ ඒක ලබාගන්න ක්‍රමේ... ඒ වගේම තමන්ට මල් 7 ලවක් සෙට් උනාම කොච්චර කිව්වත් ඔයා මැරෙන්න හිතන්නෙ වත් නෑ නේද? එක තමයි මම කිව්වෙ ඔයාට ෆිට් වෙන ලවක් හම්බවුනු දාට ඔයා නිකන් ම ජීවිතේට ආදරය කරයි කියලා.... හොඳයි නැද්ද?

මේ Quotes ටික කියවන කොට ඔයාලටත් මීට වඩා හොඳ දේවල් ඔලුවට එනවා ඇති නේ... ලබන සතියේ ඉදලා මම අරන් එන්නේ ඔයාලාගේම Quotes විතරයි..... ඒක නිසා ඔයාලාගේ ඔලුවේ තියෙන පිස්සු විකාර මන්ස්ගාත ඔක්කොම මට e-mail කරන්න...... ලබන සතියේ හමුවෙමු....

මම නිමා.
nima.quotes@gmail.com